Nawa Keti Kathawa...

Replies: 1 - Views: 22

RoSHeN_FDo: 17/03/21 - 14:02:55
Perethayage Adare... Nawa keti kathawa...yata.


RoSHeN_FDo: 17/03/21 - 14:08:19
#පෙරේතයගෙ_ආදරේ
( කෙටි කතාව )


මට ඔයා නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ පුන්සිරි. මගෙ මුළු ලෝකෙම ඔයා. හිමාලි පැවසූ වදන් පුන්සිරිගේ දෙසවන් තුළ තවමත් රැව් දෙයි. පුන්සිරි පිස්සෙක් සේ මුහුදු වෙරළෙහි ඇවිද ගියේය. එක් තැනක වාඩි වූ ඔහු කල්පනා කරන්නට වුණේය.

එයා කොහොමද මාව අමතක කළේ? එයා කොහොමද වෙන කෙනෙක් එක්ක යාළු වෙන්න හිත හදා ගත්තෙ? එයා මට මොකුත්ම හන්ගල නෑ. මා එක්ක හැමදේම බෙදාගත්ත. එයා මෙහෙම කළා කියන එක මට හිතා ගන්නත් බෑ... පුන්සිරි කල්පනා කළේය. මුහුදු රළ ඔහුගේ දෙපා අසලට පැමිණ යළි ඈතට යයි.

හංසි. අර මා එක්ක පන්ති යන කෙනා අනේ...

ඔව්. ඉතිං...

ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ... එයාට කොල්ලො තුන් දෙනෙක් ඉන්නව.

නෑ... වෙන්න බෑ. එයා හරිම අහිංසක පාටයිනි.

හොඳ අහිංසක.

ඉතිං කොහොමද එහෙම කරන්න

ඒ අයගෙන් එක්කෙනෙක්ට එයා ඇත්තටම ආදරෙයිලු. හංසි අර දෙන්න එක්ක තරහ උණත් එයා එක්කනං තරහ වෙන්නෙ නෑ.

ඔයානං එහෙම නෑනි. මට විතරනි ආදරේ.

ඔව් අනේ. මම කවදාවත් එහෙම කරනවද?

අනිත් අයගෙ වැරදි කිය කිය ඉඳල ඔයත් ඒ වැරැද්දම කලා නේද? පුන්සිරි සිතුවේය. උන් තැනින් නැගිට්ට ඔහු මහපාර දිගේ ඇවිද ගොස් කෝච්චි පාර පෙනෙන මානයේ නතර වුණේය.

මම දැන් ජීවත් උණා ඇති. පණ වගේ ආදරේ කරපු ඔයත් දැන් මට නෑ. යි, සිතමින් පුන්සිරි රේල් පාරට ගොස් රේල් පාර දිගේ ඉදිරියට ගමන් කළේය. තමාව දමා ගිය හිමාලිව මිස තමාට ආදරය කරන අම්මා, තාත්තා හෝ නංගීව ඔහුගේ සිහියට ආවේ නැත. ඔහු ගමන් කළ රේල් පාර දිගේ ඔහු දෙසට හූ හඬ දී වේගයෙන් කෝච්චියක් ආවේය. පුන්සිරි දෑස් පියා දෑත් දෙපසට දිගු කොට මරණයට නිදහසේ මුහුණ දුන්නේය.

වේගයෙන් ආ කෝච්චිය පුන්සිරිව හප්පාගෙන ඉදිරියට ගියේය. කෝච්චියෙහි වැදුණු ඔහු තත්පර කිහිපයකින් මිය ගියේය. වේදනාවක් දැණුනද සිදු වූයේ කුමක්දැයි මොළයට සිතන්නට වෙලාවක් ඉතිරි නොවිණ.

හිමාලි ගැන සිතමින් මියගිය පුන්සිරි එසැනින්ම පෙරේතයෙකුව උපන්නේය. ඔහුගේ මළ සිරුර අසලට පෙරේතයන් විශාල ප්‍රමාණයක් ඇදී යන අයුරු ඔහු දුටුවේය.

මම මැරිල. ඒ කියන්නෙ මම මේ ඉන්නෙ මගේ ඊ ළඟ ආත්මය ලැබෙනකන්ද? පුන්සිරි තමන්ගෙන්ම ඇසුවේය.

නෑ... ඔයාට දැනටමත් ආත්මයක් ලැබිලයි තියෙන්නෙ.

පුන්සිරි වට පිට බැලුවේය. ඔහුට පිටුපසින් සිටියේ වයසක පුද්ගලයෙකි.

ඒ කිව්වෙ? පුන්සිරි වයසක පුද්ගලයාගෙන් ඇසුවේය.

ඔයා දැං පෙරේතයෙක්.

මොකක්.

ඔව්. ඒ වගේම මමත් පෙරේතයෙක්.

අර සේරම පෙරේතයොද?

ඔව්. උන් ඔයාගෙ මළ සිරුරෙන් ගලන ලේ, සැරව සුවඳට එතටන යන්නෙ. ඒවයින් බඩ පුරව ගන්නව.

ඊය. ඒ මොන ජරා වැඩක්ද?

මමත් ඔහොම හිතුව. කොටින්ම මම සතියක් බඩගින්නෙ හිටිය.

ඊට පස්සෙ.

ඊට පස්සෙ මමත් හුරු උණා. දැං මමත් අරුන් වගේ බඩ පුරව ගන්නව.

ජරා ගඳවල් සුවඳ බලල.

ඔව්.

ඊට වඩා හොඳයි බඩගින්න.

ඉඳල බලන්න. යි, පැවසූ පෙරේත මහල්ලා මළ සිරුර දෙසට ගියේය.

දැං හිමාලි විඳවයි. අඬන්නෙ නැතෑ. පුන්සිරි සිතුවේය.

පුන්සිරි, හිමාලිව සොයාගෙන ඇගේ නිවසට ගියේය. ඇය සමග කතා කළද ඇයට එය නොඇසුණාය. ඇයව ඇල්ලීමට හැදුවද එයද කළ නොහැකි විය. පුන්සිරි හිමාලි දෙස බලාගෙනම සිටියේය. ඇය සිටියේ පොතක් බලමිනි. සුළු මොහොතකට පසු හිමාලිව සොයාගෙන හංසි පැමිණියාය.

හිමාලි... හිමාලි...

වරෙං වරෙං. මොකෝ බෙරිහං දෙන්නෙ?

කෝ අම්මල.

අම්මල වත්තෙ ගිහිං.

අයිය?

අයිය ඉතිං වැඩ. හවස එයි. ඇයි බං මේ...

පුන්සිරි මැරිල බං.

මොකක්...

පුන්සිරි, හිමාලිගේ මුහුණ දෙසම බලා සිටියේ ඇගේ මුහුණෙන් හැඬුම් බලාපොරොත්තුවෙනි. එහෙත් ඇගේ දෙනෙතින් කඳුලක් නොවැටිණ.

මොකක් වෙලාද?

කෝච්චියට පැනල.

පිස්සෙක්නි. මමනං හිතුවෙ නෑ එහෙම දෙයක් කර ගනියි කියල.

උඹට දුක නැද්ද?

දුකයි ඉතිං. මොනව කරන්නද?

මම හිතුවෙ මේක අහල උඹ හොඳටම අඬයි කියල.

ඇඬුව කියල පණ එනවද බං.

ඒ උණාට ඉස්සර ඌ තරහ වෙලා ඉද්දිත් උඹ අඬල තියනවනි.

එතකොට මම එයාට ඇත්තටම ආදරේ කලානි. දැං මට පවන් ඉන්නවනි.

උඹ ඌට ඇත්තට ආදරේ කළේ නෑනි. උබට ඒ දවස්වලත් තව කොල්ලො දෙන්නෙක් හිටියනි. අර වීල් එකේ ජනක අයියයි. අර යාළුවො සෙට් එකත් එක්ක එන සමීරයි.

ඒ ඉතින් ජොලියට වගේනි.

දැං ඉතිං මළ ගෙදර යනවද?

අනේ බෑ බං. ඌ ලියුමක්වත් ලියල මැරුණනං මාව මලගෙදරදිම බයිට් වෙයි.

පුන්සිරි සියල්ල දැන ගත්තේය. හංසිට කොල්ලො තුන් දෙනෙක් ඉන්න කතා කියූ හිමාලිටය කොල්ලො තුන් දෙනෙක් සිට ඇත්තේ. තමාට මෙච්චර වංචාවක් කළ ඇය ජීවත් වීමටද නුසුදුසුයැයි සිතූ පුන්සිරි ඇගේ බෙල්ල මිරිකීමට ඉදිරියට පැන්නේය. හිමාලිගේ බෙල්ල මිරිකීමට ඉදිරියට කළ පුන්සිරිගේ දෑත් හිමාලිගේ ඇඟ ඇතුලෙන් ගියේය. හිමාලිට හෝ පුන්සිරිට ඔවුනොවුන්ගේ ස්පර්ශයක් දැනුනේ නැත. පුන්සිරිට ඔහුගේ කේන්තිය පිට කිරීමට නොහැකි විය.

මේ ගෑනි මාව කෑව. මම මැරුනෙ අපරාදෙ. මෙයා මා එක්ක ආදරෙන් ඉන්න කාලෙත් තව කොල්ලො දෙන්නෙක් ඉඳල. පව් මගේ අමමයි, තාත්තයි, නංගියි. ඒ අය මන් නැතුව අඬනව ඇති. යි, සිතූ පුන්සිරි ඔහුගේ නිවසට ගියේය. ඒ වන විටත් මළ සිරුර නිවසට ගෙනවිත් නොතිබිණ. නංගී සහ අම්මා හොඳටම අඬමින් සිටිති. ඔවුන් විටින් විට සිහිසුන් වෙති. තාත්තා මිනිසුන් නැති තැනකට ගොස් හොර රහසේම හොඳටම හැඬුවේය.

තාත්තෙ... මට සමාවෙන්න. මම ආදරේ කියල තේරුම් ගත්තෙ හිමාලිගෙ බොරු ආදරේ. මට අම්මගෙ, නංගිගෙ, තාත්තගෙ අවන්ක ආදරේ තේරුම් ගන්න බැරි උණා...

මළ සිරුර නිවසට ගෙන ආ පසු නංගි සිහිසුන් වී ඇද වැටුණාය. ඇයව අල්ලා ගැනීමට පුන්සිරි උත්සාහ කළද එයද නිශ්ඵල විය. පුන්සිරිගේ ආදරණීයයන්ගේ හැඬුම් බලා සිටිනවා විනා ඔහුට කළ හැකි කිසිවක් නොවීය.

මළගෙදර පෙරේතයන් ගොඩකි. ඔවුන් මිනිය ළඟින් නොසෙල්වෙයි. පුන්සිරි පසුතැවීමෙන් එහා මෙහා යයි.

දින කිහිපයක් ගෙවී ගියේය. පුන්සිරි, හිමාලිගේ නිවසට ගොස් එහි සිට හිමාලිව දැකීමට පටන් ගත්තේය. ලැබෙන අවස්තාවල ඇගේ නිරුවත දැකීමටද ප්‍රිය කළ ඔහු සිය පෙරේත ජීවිතය රස වින්දේය. එහෙත් දුගඳ ආග්‍රාහණය කිරීමට අකමැති වූ ඔහු බඩගින්නේම පසු වුණේය.

දැන් ඔහු මිය ගොස් සතියක් පමණ ගෙවී ගොස් හමාරය. පුන්සිරිගේ දෙමව්පියන්ට සහ නංගි හට තවම මුහුණේ සිනහවක් නැත. හිමාලිනම් පුරුදු සිනහවෙන්, විනෝදයෙන් ජීවත් වෙයි. පුන්සිරි, හිමාලිගේ නිවසට වී ඇයව, ඇගේ නිරුවත දැක රස විඳිමින් කාලය ගත කළේය. පෙර හමුවූ මහළු පෙරේතයාව යළිත් පුන්සිරිට මුණ ගැසුණේය.

ආ... ඉලන්දාරිය. ඔහේ තවම බඩගින්නෙද?

ඔව් මාමෙ. මම මෙහෙම බඩගින්නෙම මැරිල යනව.

බඩගින්න කොච්චර වැඩි උණත් පෙරේතයො මැරෙන්නෙ නෑ කොල්ලො. ඒ හින්ද බඩගින්නෙ හිටිය ඇති. දැං මේ පෙරේත ජීවිතේට හුරුවෙයං.

මම දැං මගේ කෙල්ලව හොඳට දැකල රස විඳිනව. මේ පෙරේත ජීවිතේ මරුනි මාමෙ.

මරු... ඔන්න උඹ දැං නියම පෙරේතයෙක්. තව ටිකක් දවස් යද්දි උඹ වෙන වෙන කෙල්ලන්වත් දැකල රස විඳින්න පටන් ගනියි. ඊට පස්සෙ උඹට මේ නරකාදියෙන් ගොඩ ඒමක් නෑ. මිනිස්සුත් ඔහොමනි බං. හැම ජරා වැඩේම කරගෙන ජීවත් වෙනව. ඊ ළඟ ආත්මයක් ගැන හිතන්නෑනි. මේක තමයි ජීවිතේ කියල හිතන්නෙ.

ඒකනන් ඇත්ත. මම මැරුණෙ මගෙ නැති උණ ආදරේ වෙනුවෙන්. එයා දැං හරි සතුටින්. මම පෙරේතයෙක්.

උඹට දැං තේරෙනවද මැරුණෙ අපරාදෙ කියල.

ඔව් මාමෙ.

ඒක නෙවෙයි. ටවුන් එකේ ටොයිලට් වල අදින්න ගලි බව්සරයක් ඇවිල්ල. මම එහෙට යන ගමන්. ඔය වගේ චාන්ස් එකක් එන්නෙ මාසෙට සැරයයි. යමුද?

ඊය.

එහෙනං මම ගියා... බඩගින්නෙම ඉඳල බලන්න. යි, පැවසූ මහල්ලා පිටව ගියේය. ඔහු යන දෙස බලාසිටි පුන්සිරි තීරණයක් ගත්තේය.

මාමෙ...

මහල්ලා නතර වී පුන්සිරි දෙසට හැරුණේය.

මමත් එනව. යි, පැවසූ පුන්සිරි, මහල්ලා දෙසට ඇවිද ගියේය.

නිමී.

( කතාව කියවන, ලයික්, කමෙන්ට් දාන සියළු දෙනාටම බොහොම ස්තූතියි. කතාව ගැන අදහසක් කමෙන්ට් කරන් යන්න. මැරෙන්න එපා කවුරුත් වෙනුවෙන්. තේරුම් ගන්න මනුස්ස ජීවිතේ වටිනාකම. ඔබට ජය... )



1/1

Home>Forums>**~** Nawa Katha Kiyawanno **~ Club
>...>Nawa Keti Kathawa...

ChatLanka 2013-2023